සෞභාග්‍යමත් හෙටකට හරිතවත් කිරණක්

කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය දීර්ඝකාලීන ඉතිහාසයකට උරුමකම් කියන කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති ප්‍රමුඛතම සිද්ධස්ථානයකි. එමෙන්ම මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන පිහිටුවා වදාළ පණ්ඩිත ශිරෝමනී හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ භික්ෂු උරුමය පවතින විහාරස්ථානයයි. ගංගාරාම විහාරස්ථානයේ වැඩ සිටි මහගොඩ ඤානිස්සර නායක ස්වාමීන් වහන්සේ සහ මොරන්තුඩුවේ ධම්මානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ යන ස්වාමීන් වහන්සේලා පසු කාලීනව ශ්‍රී පාදස්ථානයේ අධිපතිත්වයට පවා පත්විය. වර්තමානයේ ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපතිත්වය උසුලන්නේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේගේ භික්ෂු පරම්පරාවෙන් පැවත එන අතිපූජ්‍ය ගල්බොඩ ඥාණිස්සර කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක නායක ස්වාමීන් වහන්සේය.

ගංගාරාම විහාරස්ථානය යනු හුදෙක් ආගමික සිද්ධස්ථානයක් පමණක්ම නොව. ආගමික ප්‍රබෝධයක් ඇති කරන, සුවිශේෂිත සංස්කෘතික මෙහෙයක් ඉටුකරන මෙන්ම ජාතිකමය සහ සමාජීයමය වශයෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටුකරනු ලබන විහාරස්ථානයකි. එපමණක් නොව පාසල් හැර ගිය දරුවන් සුමගට ගැනීමෙහිලා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරනු ලබන විහාරස්ථානයකි.

1978 වසරේදී ආරම්භ කරන ලද ශ්‍රී ජිනරතන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය හරහා පාසල් අධ්‍යාපනය හැර ගොස් සිය අනාගතය අඳුරින් ආලෝකයට රැගෙන යාමට සමත්වූ ශිෂ්‍ය සංඛ්‍යාව ලක්ෂ හයකට අධිකය. එම වෘත්තීය පුහුණු ආයතනයෙන් විවිධ පාඨමාලා හැදෑරූ ඔවුන් අතරින් සමහරක් ජපානය, කොරියාව, තායිවානය, හොංකොං වැනි විදේශයන්හිත් තවත් පිරිසක් ශ්‍රී ලංකාවේම විවිධාකාරවූ ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හිත්, ස්වයං රැකියාවන්හිත් නිරතවෙමින් ජීවිත ජය ගන්නට සමත්ව තිබේ.

කොළඹ නගරයට පෙරහැරක් නොමැතිවූ යුගයක ඉතාමත් උත්කර්ෂවත් අයුරින් සංස්කෘතිකාංගයන්ගෙන් පොහොසත්වූ මහා සංස්කෘතික මංගල්‍යයක් බඳුවූ පෙරහැර මංගල්‍යක් කොළඹ නගරයේ ඇරඹීමට ගංගාරාම විහාරස්ථානයට හැකිවිය. ඒ නිසාම ලොව පුරා විවිධ රටවල සංචාරකයින් ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහැර නැරඹීම සඳහාම සෑම වසරකම පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරය කිරීමට පවා පෙළඹුණි. එපමණක් නොව කොළඹට තොරණක් නොමැති කාලවකවානුවක කාර්මික විද්‍යාලයේ සිසුන් තොරන් නිර්මාණය කළ අතර එම ව්‍යායාමය පසු කාලීනව වැඩිම ජන සංඛ්‍යාවකගේ සහභාගිත්වයක් පවතින වෙසක් කලාපය වන බුද්ධ රශ්මි වෙසක් කලාපය ලෙසින් බේරේ වැව මූලික කරගනිමින් උත්කර්ෂවත් අයුරින් අදටත් පවත්වනු ලබයි.

ගංගාරාම විහාරස්ථානයේ ශාසනික මෙහෙවර ද අතිමහත්ය. පිරිවෙන් සංවර්ධනය කිරීම, කුඩා සාමණේර හිමිවරුන්ට ශිෂ්‍යත්ව ලබාදීම, එම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ප්‍රාචීන විභාග සඳහා යොමු කර උන්වහන්සේලාගේ අනාගතය ශක්තිමත් කිරීම සඳහා පැහැදිලි භික්ෂු නායකත්වයක් ලබාදීමටත් ගංගාරාම විහාරස්ථානය කටයුතු කරනු ලබයි.

1987 වසරේදී පමණ ශිලා කැටයම් කලාව පිළිබඳ පාඨමාලාවක් ශ්‍රී ජිනරතන වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ ආරම්භ කිරීම සඳහා මෙරටින් නිර්මාණ ශිල්පීන් සොයා ගැනීමට නොහැකිවූ බැවින් එම කලා ශිල්පීන් සොයා ගංගාරාම විහාරස්ථානයේ ගරු විහාරාධිපති ගල්බොඩ ඥානිස්සර ස්වාමීන් වහන්සේ ඉන්දියාවේ මහාබලිපුරම් ප්‍රදේශයට ගමන් කරමින් සිටිනවිට දුටු එක් දසුනක් නිසාවෙන් තවත් සුන්දර සංකල්පයක් මෙරටට දායාද කිරීමට උන්වහන්සේට හැකි විය. එනම් උන්වහන්සේ විසින් හඳුන්වා දෙනු ලැබූ “ගස් බැංකුව” සංකල්පයයි. මෙම සංකල්පයේ හරය වන්නේ ආයෝජනයක් ලෙසින් පැළයක් සිටුවන්නේ කෙසේද, පරිසර පද්ධතිය සුරැකීමට මෙන්ම මිනිසාගේ ආර්ථීක සංවර්ධනය උදෙසා පැළයක් සිටුවන්නේ කෙසේද යන්න හඳුන්වාදීමයි. එම සංකල්පයට ජීවය දෙමින් උන්වහන්සේ තමන් වහන්සේට අයත්ව පැවති අක්කර 900 ක් පමණ වන ඉඩමක පැළ රෝපණ වැඩසටහන ඇරඹීය. භද්‍රාවතී පුණ්‍යාධාර වැඩසටහන යටතේ මේ වනවිට එහි පැළ හැත්තැ දහසකට අධික ප්‍රමණයක් රෝපණය කර සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වේ. ඒ අනුව මේ වනවිට සමස්ත දකුණු පළාතටම ඇට වර්ග සහ පැළ ඛෙදාදීමේ ව්‍යාපෘතියක් අකුරැස්සේ ඌරුමුත්තාව වත්තේ ක්‍රියාත්මක වෙයි. විවිධ ප්‍රමණයන්ගෙන් මහෝගනී, තේක්ක සහ අගාවුඩ් වැනි ආර්ථීකමය වශයෙන් වටිනාකමක් ඇති පැළ වර්ග ලක්ෂ ගණනක් මේ වනවිටත් එම ඉඩමෙහි වගා කොට තිබේ. මෙම ව්‍යාපෘතිය දියත් කිරීමෙහි තවත් එක් අපේක්ෂිත අරමුණක් වන්නේ ගංගාරාම විහාරස්ථ දායක සභාවේ සෑම දායක පවුලකටම එම පැළ වෙන් කිරීමයි. යම්කිසි හේතුවක් නිසාවෙන් ආර්ථීක පරිහානියකට පත්වීමට එම පවුලකට සිදුවූවොත් ඔවුන් නමට වෙන්කර ඇති පැළ භාවිතයෙන් ආදායමක් උපයා ගැනීමට ඔවුන්ට අවස්ථාවක් උදාකරදීම එහි අරමුණයි.

එම ව්‍යාපෘතිය කේන්ද්‍ර කරගනිමින් මේ වනවිට රට පුරා ආදර්ශ කෘෂි සහ කිරි ගොවිපොළවල් 12  පවත්වාගෙන යන අතර ඒ සියලම අක්කර සියයට වඩා වැඩි බිම් ය. ඒ ඒ ප්‍රදේශයට, පසට උචිත වන අඩු කාලයකින් වැඩි ඵලදාවක් ලබාගත හැකි පැළ වර්ග රෝපණය කිරීමට කටයුතු කර ඇති අතර එමගින් ඒ ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම එහි අරමුණයි. ඔවුන්ට අවශ්‍ය වන තාක්ෂණික දැනුම, පුහුණුව, පොහොර පමණක් නොව එම ගස්වල ඵලදාව ලැබුණු පසු ඒවා නිසි අයුරින් ඇසුරුම් කිරීම, ප්‍රවාහනය කිරීම ආදිය පිළිබඳව දැනුමක් ලබාදීම මෙන්ම නිසි වෙළෙඳපොළක් හිමිකර දෙන්නටද මේ හරහා කටයුතු කරනු ලබයි.

රටේ නායකයාගේ නිදහස් උත්සව දින කථාවේ සඳහන් කළ පරිදි “සෞභාග්‍යයේ දැක්මට” අනුව කෘෂිකර්මාන්තයට නිසි තැන ලබාදීම සඳහා එම පණිවිඩය ජනගත කිරීම අත්‍යාවශ්‍යය. කෘෂිකාර්මික රූපවාහිනී නාලිකාවක මෙන්ම ගුවන්විදුලි නාලිකාවක අවශ්‍යතාවය පිළිබඳව ශ්‍රී ජිනරතන අධ්‍යාපන පාලක සභාවේ අවධානය කලක පටන් යොමුව තිබිණි. ගල්බොඩ ඥානිස්සර ස්වාමීන්වහන්සේගේ දැක්මේ ද පැවති එම අවශ්‍යතාවයට සහයෝගය ලබාදෙමින් ඩයලොග් ආයතනය කොන්දේසි විරහිතව මෙන්ම නිර්ලෝභීව මෙම ජාතික කර්තව්‍යයට අත හිත දෙනු ලැබීය. ඉන් අනතුරුව ජනාධිපතිතුමන්ගේ මැදිහත්වීම මත PEO TV  ආයතනයත් එම කර්තව්‍යයට එකතුව තිබේ. එවැනි පසුබිමක් තුළ හරිත TV නාලිකාව ආරම්භ කිරීමේ අරමුණ වන්නේ පුරාණ රජ දවස පටන් පැවත ආ ගමයි පන්සලයි වැවයි දාගැබයි නිල්වන් ගොයමයි රන්වන් සිවුරයි යන තේමාව යටතේ ස්වයංපෝෂිව පැවති දේශීය කෘෂිකර්මාන්තයට යළිත් ජීවයක් දෙමින් එය නගා සිටුවීමයි. සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය, ඒ හා බැඳුණු කෙම් ක්‍රම, විදේශීය රටවල්වල කෘෂිකර්මාන්තය ආදිය පිළිබඳව දැනුමක් ලබාදීමට මෙන්ම ගොවියාට ව්‍යවසායකයෙක් නාගරිකව ලබාදීමේ පරමාර්ථයද ඇතුවයි. එම ගොවීන්ගේ නිෂ්පාදනයන්ට අගයක් එක් කරන්නට, නිවෙස්වල සිටින ගෘහණියන්ට ස්වයං රැකියා අවස්ථාවක් ලබා දෙන්නට මෙන්ම රටේ දූ දරුවන්ට සංස්කෘතිය සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර ගුණධර්ම පිළිබඳව මනා අධ්‍යාපනයක් ලබාදීමත් හරිත TV නාලිකාව හරහා සිදු වනු ඇත. එපමණක් නොව සමස්ත පරිසර පද්ධතිය පිළිබඳව, පරිසරය සුරකින ආකාරය පිළිබදව මතු පරපුර දැනුවත් කිරීමටත් මෙන්ම වාරි තාක්ෂණය සහ ධීවර කර්මාන්තය පිළිබඳව දැනුමක් අවබෝධයක් ලබාදීමත් මෙම නාලිකාව හරහා සිදුවනු ඇත. එපමණක් නොව රට ස්වයංපෝෂිත කිරීම සඳහා දිවා රෑ දහඩිය වගුරන වැඩකරන ජනතාවගේ හදවතට සවන් දෙන්න, සමීප වෙන්න, ඔවුන්හට අත්වැලක් වන්නටත් බලාපොරොත්තුවෙන් 2021 මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හරිත TV නාලිකාව ජනගත කෙරුණි.  

දැයේ කෘෂිකාර්මික නාලිකාවේ සමාරම්භය

හරිත TV නාලිකාවේ සමාරම්භක උත්සවය 2021 මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානයේදී පවත්වනු ලැබූවේ සෙත් පිරිත් සජ්ඣායනා මාධ්‍යයේය. හරිත ජනාධිපතිතුමන්ගේ සුරතින්ම හරිත ඔඨ වෙබ් අඩවිය සහ තේමා ගීතයද එළිදැක්විණ.

සෙත් පිරිත් සජ්ඣායනය මධ්‍යයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රූපවාහිනී මංගල විකාශය ආරම්භ විය.

ජනාධිපතිතුමා අතින් හරිත වෙබ් අඩවිය (www.harithatv.com) සහ තේමා ගීතය එළිදැක්විණ.

පැළ බෙදාදීම සංකේතවත් කරමින් පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියෝ ජනාධිපතිතුමා වෙත පැළයක් පිරිනැමූහ.

ඩයලොග් නාලික අංක 16 සහ PEO TV නාලිකා අංක 09 ඔස්සේ “හරිත” රූපවාහිනිය ජනතාවට නැරඹිය හැකිය.

මහානායක, අනුනායක හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, කථානායක මහින්ද යාපා අබේවර්ධන, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරු, මැති ඇමතිවරු, තානාපතිවරු, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සහ රාජ්‍ය නිලධාරීහූ, ආරක්ෂක අංශ ප්‍රධානීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.